පරසතුරන්ට බියනොවූ වීර ගැමියන් අතින් බිහිවූ "එල්ලංගාදී"
* වියළි කලාපීය එල්ලංගාව ලෝක උරුමයක් ලෙස පිළිගැනේ.
* දිවයින පුරා එල්ලංගා පද්ධති දහසකට වැඩියි
* එල්ලංගාවේ තිබුණේ කිසිදා නොසිඳෙන වැව්
පිටරටින් එන සහලින් පිසූ බත්මුල් බැඳගෙන අපි අනුරපුරයේ වන්දනාවේ යන්නෙමු.
කොල්ලන් කෙල්ලන් නටබුන් හා ප්‍රතිමා පසුබිමේ සිට සෙල්ෆි ගසන්නේ තම දත්ත
ගබඩාවට ඒවා මනරම් පින්තූර වන නිසා විය හැකිය. මේ ප්‍රතිමා නෙළන්නට හා අද
නටබුන් වී ඇති දැවැන්ත ඉදිකිරීම් කරන්නට පෙර රජ දවස ශිල්පියාට ශක්‌තියත්,
විවේකයත් ලැබුණේ, තවත් පිරිසක් විසින් මහා වැව් තනා සුපිරි වාරි
පද්ධතියක් සහිතව රට සරුසාර කර තිබූ නිසා යයි මහ ගත්කරු මාර්ටින්
වික්‍රමසිංහ ශූරීන් හැත්තෑව දශකයේදී ලිපියක ලියා තිබුණි.
ඕනෑම රටක තිරසාර
කෘෂිකර්මයක් පවතින්නේ නම් ඒ හා සමගාමීව නිශ්චිත ජල පරිහරණ රටාවක්‌ද තිබීම
අනිවාර්ය ලක්‌ෂණයක් වේ.
ලාංකිකයා සතු මෙවැනි විස්‌මිත වාරි
පද්ධතියක් වෙනුවෙන් ඉහළම සම්මානයක් පසුගියදා පිරිනැමුණි. අප්‍රේල් 19
වැනිදා රෝමයේදී පිරිනැමුණු මෙම සම්මානය ලබා ගත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ
ලේකම් බී. විඡේරත්න මහතාය. ඒ සියවස් ගණනාවක් පුරා, එල්ලංගා වාරි පද්ධතිය
ආශ්‍රිතව ජීවත්වූ පැරණි ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙනි. සම්මානය පිදුවේ
එක්‌සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. එහි නියෝජ්‍ය අධ්‍යක්‌ෂ
ජනරාල් මාරියා හෙලේනා සෙමෙඩෝ මහත්මිය, ගෝලීයව වැදගත් උරුම පද්ධතියක් ලෙස
එල්ලංගා වාරි පද්ධතිය හා බැඳුනු ගම්මාන එසේ නම් කරනු ලැබුවේ එය ලොව කිසිම
තැනක නැති, ශ්‍රී ලංකාවට පමණක් තිබෙන අපූරු නිර්මාණයක් නිසාය. මෙයත් සමඟ
දැන් ලොව පුරා විවිධාකාරයේ කෘෂිකාර්මික උරුම පද්ධති 50 ක් තිබේ. ඒ රටවල්
20 ක් තුළ පැතිරගෙනය. ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ අරමුණ වන්නේ මෙම
පරිසර පද්ධති ආශ්‍රිතව ඇති ජෛව විවිධත්වය සංරක්‍ෂණය කර ගැනීමයි. පාරම්පරික
දැනුම ආරක්‍ෂා කරගැනීමයි. පරිසර පද්ධතීන්හි පුනර්ජීවනයක් දැකීමයි.
Source: www.divaina.com
No comments:
Post a Comment